Sunday, December 25, 2011

හාවාගේ සුනාමි මතක සටහං..

මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..


ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
 අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..

කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ..  කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
        මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කට‍ටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..

 ඉතිං දැන් ඔක්කෝම හරි,  ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..

අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,

ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..

කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්..  එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..

      එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..

බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?

අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..

ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ.. 

කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..

ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..

27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න

අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
       ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...

දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...

ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...


bunny.෴

Wednesday, December 14, 2011

ඉන්සයිට් ප්‍රේමය..දෙවැනි කොටස (දික්කල කෙටිකතාවක්)

ගයියත් සමඟ මා යන විට ඩොක්ටර් තවත් කෙනෙකු සමඟ කතාවක පැටලී සිටි නිසා අපි බාදා නොකල බලා උන්නෙමු, ආ මහත්තයලා එන්න එන්න මාගෙ දැහැන බිදිමින් දොස්තර මහතා අපිට කතාකරන්නට විය.. මම ගයියත් ඇදගෙන ඔහු වෙත ඇදෙන්නට විය, එන්න අපි මගේ කාඹරේට ගිහින් කතාකරමු.. ඩොක්ටර් ගේ පසු පසින් ඉස්කෝල වත්තෙ හොරා තැඹිලි කඩා අහු ඌ ශිෂ්‍යනායකයින් දෙදෙනෙකු විලසින් අපි කාඹරේට ඇතුලු විය.. පිලිවෙලට බෙහෙත් ජාති ලිපිගොනු අසුරා, ගත හිත මනබදින ආකාරයට කාඹරය අලංකාරව තබා ඇත..
බලහංකො බං පුස්තකාලේයි ෆාමසියයි එකට දාපු සුෆර්මාර්කට් එකක් වගෙනෙ... එළෝලු විතරයි අඩු.. එලෝලු ගනන් ඇති බං, එක්කො මේකෙ වැඩ කරන නර්ස් සුප් එකක් වත් හදන්න ගෙනිච්චද දන්නැ.. ගයියාගේ සුපුරුදු වාචාල කට එළිබසින්නට විය.. කට වහගනින් යකෝ, තොට මෙතැනට ඇවිල්ලත් කට වහං ඉන්න බැනෙ..
එන්න මහත්තයා ඉදගන්න.. නැවතත් ඩොක්ටර්ගේ හඩ,
ලෙඩාට කොහොමද ඩොක්ටර් ?
දැන් එයා යතාත්වෙට පත්වෙමින් පවතිනවා.. ඒ හැටි අමාරුවක් නැහැ..මහත්තයා හිතලා තිබ්බ නේ අකුණක් වැදිලා කියලා ?
ඔව් ඩොක්ටර්
අකුණක් වැදිලා නැහැ.. එයා සීතලකට අහු වෙලා.. බඩ ගින්නත් එක්ක පන නැතිව වැටෙන්න ඇති..  මම හිතන්නෙ එයා ඒ හැටි නීරෝගිව ඉදලා නැ ඔය සිද්දිය වෙන වෙලාවේ... මහත්තයා වෙලාවට ඒ ළමයා එක්කගෙන ආවෙ.. නැත්නම් තත්වේ නරක අතට යන්න ගොඩක්ම ඉඩ වැඩීයි.. අපි සිහිය ආපු ගමන් තව විස්තර හොයලා බලමු.. ඒ ළමයාගෙ ගෙවල් වලට දන්වන්නත් එපැයැ..
හරි ඩොක්ටර් එහෙම හොදයි.. අපි එහෙමනම් ගිහින් එන්නම්..
හරි මහත්මයා.. බොහොම ස්තූතියි මේ ළමයා එක්ක ආවට..
ආ සුලු දෙයක් ඩොක්ටර්.. අනික ඔහොම වැටිලා ඉන්න කෙනෙක් දැක්කාම අහක බලං යතැහැකිද..
අපි ගිහින් එන්නම්... ඔනි වෙලාවක මට කෝල් කරන්න..
එහෙම අපි ඩොක්ටර්ගෙන් සමුගෙන නැවතත් කොරිඩෝව දිගේ එළියට ඇදෙන්නට විය..

ඒ බං.. උඹ මොනාද අර කෙල්ලට ප්‍රථමාදාර විදියට දුන්නෙ ?
මං ඒ හැටි මගුලක් කලේ නැ බං.. පොඩ්ඩක් මසාජ් කලා. එච්චරයි..
අම්මපා උඹ වගේ පොරක් ඇ.. තෝ මෙතැන බොරු කියනවා මසාජ් කලා කියලා..  ඒකිගෙ ඇග අතගාලා.. තව මොන මොනා කලාද කවුද දන්නෙ.. උඹ තමා දවසකට හරි මිනිහා.. ආතල් ඇතිනේ ?
      මේ ගයියෝ.. මගෙන් කුණුහරුප දෙකක් නාහා යමංද ? නැත්නම් තෝ මේහේම ICU එකට යන්න තමයි ඔය දඟලන්නෙ.. කෝකටත් තොගේ කේන්දරෙ බලව්ව ගනින්.. මාරක අපල හදීසි අනතුරු, ඔය වගේ දේවල් තියෙද කියලා..!
හා හා යමං යමං මට අම්බානෙක බඩගිනියි.. ගුටි කාලා මැරෙන්න කලින් කාලා බීලා ඉන්ටොන..
හ්ම් යමං මං ඊයෙ රෑට කැවෙත් නැ..
....

හවස්වරුවේ නැවත අපි ඉස්පිරිතාලයට පැමිණෙන විට ICU එක ලඟ කාන්තාවං දෙදෙනෙකි.. මගේ මුහුන දෙස බලා බයාදූ බැල්මක් හෙලූ ඔහුන් නැවතත් ICU එකේ වීදුරුව දිහා බලන්නට විය..
ඒ අසලිං ඩොක්ටර් පැමිනෙන්නට විය.. ආ මහත්තයාල ඇවිල්ලානේ.. මං හිතුවේ නෑ ඒවි කියලා.. එන්න මහත්තයා.. මට මේ අයව අදුංවලා දෙන්න තියෙනවා..
අම්මා මේ ඉන්නෙ අර ඔයාලාගේ දූව වැටිලා ඉද්දි එක්ක ආපු මහත්තයා, ඩොක්ටර් මාව පෙන්වන්නට විය.. පුදුමයකි මා මෙතෙක් වෙලා බලං ඉද තිබෙන්නෙ අර ගෑණු ළමයාගේ අම්මා දිහා හා ඇයගේ අනික් ලඟ ඤාතී යැයි සිතිය හැකි අයකු සමඟය..
මේ අපේ patient ගේ අක්කා, එය කියූ සැනින් ඇයගේ අම්මා විලාප නගා හඩන්නට විය..
             අනේ බුදු මහත්තයෝ මහත්තයාට පිංසිද්ද වෙනවා මේ කල උදව්වට, මහත්තයාට මේ පිනම ඇති නිවන් දකින්න..
ඒ බං.. මේ ඇන්ටි හදන්නෙ උඹ දැන්ම මරා ගන්න ඔව්වට අහු වෙන්න එපා.. මේ දවස්වල මං අම්බානෙක බිසී මේ කට්ට කැවට.. එහෙම තියං නයිටක් ගහතැහැකිද බං ? ගයියා මට රහසිං කියන්න විය..
අනේ මේ යකෝ කටවහගනින් මගෙන් දෙකක් නාහා.. මම උගේ කකුලට ඇන්නෙමි..!
හරි හරි අම්මෙ දැන් අඩන්න එපා ඔක්කොම හරියාවි.. මං ඇයගේ හිත හදන්නට විය..
ඩොක්ටර් patient ගේ නම මොකක්ද ?
අහ් මට අමතක උනානේ කියන්න.. එයාගෙ නම "කසුනි"
කසුනි....?
 මගේ ගත සිත අඩපන වෙමින් පවතී.. කකුල් දෙක පන නැතිවී වැටේදෝ යන බියට මම අසල ඇති බිත්තියට වත්තම් විය.. මගේ හිත අතීතයේ එක් මූසල කාලාන්තයකට ඇදන් වැටිනි..
ඒ මොකෝ බං ගයියා මගේ පිටට අනින්නට විය.. නැ බං.. මුකුත් නැ..
බොරු කියන්න එපා අරකිගේ නම කිවාම උඹ මොකද අප්සට් ගැහැව්වෙ ?


හරි බං.. මං කියන්නම් නිදහසේ.. මෙතැන බැහැ.. හ්ම් එහෙනම් අපි යමං කොටුව පැත්තට.. මොනා හරි කාලා බීලා කතාකරමු..
මුහුදු හුලං වැදි වැදී නිදහසේ දෙයක් කතා කරන්න කියාපු තැන කොටු තාප්පෙ.. ගයියාගේ යොජනාව මං ස්තීර කරමින් මං කුඩා කල සිටම ආස තැනක් ඌ කොටුතාප්පෙ දිහාවට එන්නට අපි පිටත් විය..

මගේ සිත තවමත් විස්සෝපයෙන් කකියමින් ඇත.. කාලයක් හිතේ තදකරංඋන් බරක් නිදහස් කරගැනීමට මේ කාලයැයි මම සිතන්නට විය..


ඉතිරි කොටසින් නැවත හමුවෙමු...

Sunday, December 11, 2011

ඉන්සයිට් ප්‍රේමය.. (දික්කල කෙටිකතාවක්)

පාර පේන්නෙ නැති තරමට වැස්සය.. වතුර වලවල් වලිං හෙමීට කාර් එක ඉදිරියටම දාවනය කලේ පන ගැහි ගැහිය.. වෙන මොකටවත් නොව බැටරියට වතුර ගියොත් පුපුරයි යන සමාජයෙන් ගෙන ආ බියටමය..! මෙවන් වාහනයක් ගැනීම ගැන මම මටම හිතින් බැන බැන ඉදිරියට ඇදෙන්නට විය.. මා ගමන් ගත් දිශාවේ ඒ හැටි පාරවල් හුරු පුරුදු නොමැති මුත් කෙසේ හෝ වාහණය දාවණය කරවන්නට මම සමත් විය..
වැස්ස තවමත් අඩුවී නොමැත විදුලි කෙටිල්ලද ඒ හා සමානව හරි හරියේ අහස සමග ද්වංද සටනකට පෙලඹී ඇත.. සීතලද ඒහා සමානව මාගේ ඇටකටු හිල් කරමින් ඇගතුලට කාවදින්නට විය.. ජනේලය පහත්කර බැලුවේ මා දැන් ඉන්න ප්‍රදේශය ගැන හෝඩුවාවක් ලබාගැනිමේ අරමුණිනි.. මගේ යටිසිත සමග පොර බැදී මා ඉන්නෙ වෙල්යායක් මැද්දැවේ යැයි තීරණය කරගත්තෙමි.. විගැහින් ජනේලය උස්සා ඉදිරියට ඇදෙන්නට විය..
   ඉදිරියට ඇදෙන මා හට සුදු පැහැති යමක් ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන්නට විය. මගේ ඇස් අදහා ගතනොහැකි විය.. පාර අයිනේ වැටී උන්නෙ කුඩා ගැහැනු දැරිවියකි.. දෙවරක් කල්පනා නොකර මා විගසින් වාහනය නතර කර ඇය කරා ඇදෙන්නට විය, තත්පර කීපයක් යන්නට මත්තෙන් මා තෙමිච්ච කුකුලෙක් මෙන් කීරීමට වැස්ස සමත් විය..
කුඩා ළමයෙකුයි සිතූ මුත් ඇය වයස 18 ක පමණ වන තරමේ පෙනුමක් තිබිනි.. නිතැනින්ම මට වටහා ගත හැකි ඌවෙ ඇයට අකුණු සැර වැදී ඇති බවය.. අවශ්‍ය ප්‍රථමාදාර දී, වහා වහා මම ඇයව වත්තම් කරගෙන වුත් කාර් එකේ පිටි පස අසුනෙන් ඇලකර තබා දුව විත් රියදුරු අසුනේ වාඩී වී විගසින් ස්පිරිතාලය කරා එන්නට විය.. ලඟම ස්පිරිතාලය ඌ කරාපිටියට මම විනාඩි කීහිපයකින් අවේ වාහනේට තිබූ ආසාවන්ද ඇතැරමිනි.. මං උන්නෙ මේ යකඩ ගොඩකට වඩා ජිවිතයක් බේර ගැනීම වටිනවා යන සංකල්පය මතම පමණි..
වහ වහා රෝහල ඇතුලටම වාහනය ගෙනගොස් ලෙඩා බාරදී මගේ විස්තරද ලබාදුනි ඇයව වහාප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකය කරා රැගෙන යන ලදි....
...
රාත්‍රී 12 පසුකරමින් පවතී.. කුඩා ළමුන් හඩන හඩ වල්, රෑහැයි නාදය අතරිං මගේ හිත අද දවසේ සිදු ඌ දෑ මතක් කරමින් මනසට වදදෙමින් ඇත... ගැහැනියකගේ  විලාප හඩක් මා සිත හිරිවට්ටමින් ඇසෙන්නට විය,
ඈ කවුද ? ඇගේ දෙමාපියන් කවුද ? ඒ ගෙදර අයට මේ පණිවිඩය දෙන්නෙ කෙලෙසද ? අපේ ගෙදර අය මොනවා කල්පනා කරනවා ඇත්ද ?
එසැනින් මට මගේ ජන්ගම දුරකථනය සිහියට නැගිනි,  මගේ ඔනැම කුණුගොඩකට කරගහන්න කිසි විටෙක පසුනොබසින මගේ අතිජාත මිත්‍ර ගයියා සිහි විය, මාගෙ වයසේ නොවූවත් ඌ හා මා අතර ඇත්තෙ දැඩි මිත්‍රත්වයකි..! වහා වහා මම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි..
හින හෙන්නෙ මං
මේ විල් තීරේ පිය මැන්නෙ..
ඌ කිඹුලාගේ කැමතිම ගීතය ජංගමයට දමාගෙන ඇත.. මට සියල්ල අමතක වී බකස් ගා හිනායන්නට විය.. මා අසලින් මැදි වියේ නර්ස් නොනා කෙනෙකු මගේ දිහා බලා ඔරවමින් යන්නට ගියෝය..!
වහා හිනාව තදකර ගත් මා 989 වැනි විදුලි බුබුලත් පුපුරවා ගත් තෝමස් අල්වා එඩිසන්ගේ මුහුනත මවාගත්තෙමි..
මොකද යකෝ මේ මහ රෑ නිදා ගන්න දීපියව්කො #@(*#@*&#%@ ඒ ගයියාගෙ හඩ
අඩෝ බං පොඩි අවුලක් උනා.. මම ලාමක හඩින් කියන්නට විය..
     තොපිලත් මොනා හරි අවුලක් දාගන්නෙ අපි නිදාගන්න ගත්තාම... අම්මපා දවාලට නිකං ඉන්නවා ඒ වෙලාවට දාගන්න ලෙඩක් මගුලක්  ඔනි ඉස්කුරුප්පුවක් දාගනින්කො.. මේ මහරැම වදදෙන්නෙ
හරි හරි බං අහපංකො සීං එක.. මාර අප්සට් එක ඕයි.. මං සියලුම විස්තර කියන්නට විය..
අම්මට සිරි.. හිටපං මං ටක් ගාලා එන්න..
නැනැ උඹ දැන් එන්න ඔන්නැ බං, උදේට වරෙන් පොඩ්ඩක් උඹ එක්ක කතා කරන්න ඔනි..
හරි හරි මචං අවුලක් උනොත් කතා කරහං ටක් ගාලා..
හරි මචං සුභ රාත්‍රියක්.. ඔහුගෙ කතාව අවසං කර වහාම ගෙදරට කෝල් එකක් ගෙන සිදු වූ සියල්ලම ලොකු අක්කට පැවසුවේ ඔනැම මොහොතක කලබල නොවී විසදිය හැකි එකම කෙනා ඇය වීම නිසාවෙනි.. ඇයගේ එකම ඉල්ලිම ඌවෙ මට ඉක්මනින් ගෙදර එන ලෙස මුත්, මා ගෙනා රෝගියාගේ විස්තර සොයාගන්නා තෙක් රෝහලෙන් පිටනොඑන්නට මා ඉටා ගත්තෙමි..!

කවුදෝ මගේ උරහිසට අනින්නට විය..
ඕයි නැගිටපං..!
ඒ ගයියාය.. මූ පාන්දරම රෝහලට ඇවිත් ඇත..
ලැජ්ජ නැද්ද යකෝ බංකු උඩ නිදාගන්න උඹට ? මූ මට දොස් නගන්නට විය.. එවිට සිහි ඌවෙ මට බංකුව උඩම නිංද ගොස් ඇතිබවය..
නින්ද ගියා බං මට මෙතැන..

පේනවා පේනවා.. තෝ මෙතන තව ටිකක් හිටියා නම් කක්කා ගියා කියාවි.. අනේ අම්මපා..!!
මලපෙරෙතයා පොලේ ගැහැව්වා වගේනෙ තෝ නිදාගෙන තියෙන්නෙ.. ලැජ්ජ නැද්ද මිනිහෝ ?

ඉතිං බං උඹ කියන්නෙ මෙතැන හොටෙල් එකක් කියලද ? එන එන එකාට රූම්ස් දෙන්න ? මගුලක් කියනවා..

හරි හරි මොකක්ද උනේ දැන් ? නැවතත් ගයියාගේ ලාමක හඩ..

ඇයි බං මං ඊයෙ රෑ කිවේ විස්තරේ.. ඊට එහා මං දෙයක් දන්නැ.. තාම ඩොකෙක් අවෙත් නැ..
වරෙන් යන්න ගිහින් විස්තරයක් අහං එමු.. ගයියා මාව අදින්නට විය..
හිටපං මං මූනට වතුර එකක් දාගෙන එන්න.. කබ කඩ කඩ ඩොකා ලගට යතැහැකිද.. අනික සීනිබෝල බෙහෙත් බඩුත් ඉන්න එකේ....
තෝ $@#@$@ මෙතැන ඇවිල්ල නර්ස් කෙනෙක්ටවත් ඉන්න දෙන්නැනෙ.. බලහං අපි වගේ විනීතව හැසිරියං..
අනේ මගෙන් මුකුත් නාහා ඉදිං.. මං දන්නැද්ද තොගේ හැටි..! හිටපං මං මූන හොදං එන්න.. මං විගහට ගොස් මූන හෝදන් ඩොක්ටර් හමුවීමට ගයියා සමග කොරිඩොව දිගේ ඇදෙන්නට විය..



ඉතිරි ටික පසුවට...෴


.

Sunday, December 4, 2011

1+2 = කීයද ?

මේ අපේ බාප්පා එක්ක චැට් එකක් දාගෙන ඉන්න ගමං බාප්පා කීව කතාවක්.. වැඩි වැල්වටාරම් නැතිව අපි කෙලින්ම බහිමු 89 ට.. ඒකිවේ භීශණ කාලෙ.. මතකද ? මට නම් මතක නැ.. මොකද මං ඉපදිලා තිබ්බෙ නැති නිසා..
      ඒ මගුල් වැඩක් නැ.. කතාව මේකයි.. ඒකාලෙ අපේ රට දැහැමින් මෙව්වා එකෙන් පාලණය කරන් උන්නෙ අතිගරු ජනාදිපති ම නැ ප්‍රේමදාස මහත්තයාලුනේ.. මං දන්නැ උන්නද නැද්ද කියලා මට ශුවරුත් නැ මොකද මං ඉපදිලා නැ.. හරිනෙ ඒ කතා වැඩක් නැ මේකයි කතාව, ඉතිං උන්දැට.. ආ සොරි, එතුමට ඔනි උනාලු  අගමැති කෙනෙක් පත්කොරගන්ට.. කාටද ? ප්‍රේමදාස මහත්තයාට.... ඉතිං ඒකාලෙ මොකක්දෝ කොරමයකට තිබ්බාලුනේ ජනාදිපතිටම අගමැති තෝර ගන්න පුලුවන් විදියෙ බලයක්..
    ඉතිං ඔන්න ඒ බලේ පොරයෝජනයට අරං ඒ කාලෙ මංත්‍රී පට්ටං තිබ්බ මහත්වරු 3 දෙනෙක් ගෙන්නව්වාලු ඉන්ටර්වීව් එකකට.. සිංහලෙන් කිවොත් සම්මුඛ සාකඡ්ඡාවකට.. හරිද.. ඉතිං ඕකට අවේ කවුද දන්නවද ? දන්නැනෙ ?
මුල්ම කෙනා විදියට ඒ කාලෙ අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත් මුදලි මහත්තයයි
මහවැලි සංවර්ධණ ඇමති ගාමිණී දිසානායක මහත්තයි
ඩී බී නොහොත් ඩිංගිරි බංඩා විජේතුංග මහත්තයයි මේ ඉන්ටර්වීව් එකට අවාලු..
ඔන්න දැන් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්ණ අහනවලු..

ප්‍රේමදාස: ලලිත්! කියනවා බලන්න 1+2 කීයද ?

ලලිත්:  3 නේ සර් ?

ප්‍රේමදාස: තමුසෙ හරියන්නැ.. යනවා යන්න..! ගාමිණී කියනවා බලන්න 1+2 කීයද ?

ගාමිණීත් ඉතිං ඉගෙන ගත්ත පොරක්ලුනේ.. (මං නම් දන්නැ ඕං)

ගාමිණි: සර් 1 යි 2 යි 1කට තිබ්බාම  12 යි අනික් පැත්ත ගැහැව්වාම 21යි එකතු කලාම 3 යි අඩුකලාම 1 යි..

ප්‍රේමදාස.. නැනැනැ තමුසේ දන්නවා වැඩියි යනවා යන්න !!! ඩිබී තමුසේ කියනවා බලන්න 1+2 කීයද ?

ඩීබී: (රහසිං අහනවාලු) සර් කීයද කියන්න ඔනී ?

ප්‍රේමදාස: අන්න තමුසේ තමා නියම මිනිහා
කියලා අගමැති කරගත්තාලු..

හික් හික් මේක ඇත්ත කතාවක් කියලා තමා අපේ බාප්පා නම් කියන්නෙ.. හැබැයි මට කිසිම වගකීමක් ගන්න බැ මොකද මං ඉපදිලා උන්නෙ නැති නිසා..!!!

පාලි: මේ බ්ලොග් එක දේශපාලනේ පැත්තට යනවා වැඩිද මංදා.. :-/ ඒත් මෙව්වා විහිලු ඇ..!

එහෙනම් අපි කැපුනා
PirateBunny෴


(හසිත හා ඉන්දරේ සහොදරයන්ගේ කමෙන්ට් හමුවේ ටීබි ලෙස තිබූ නම ඩීබි ලෙස නිවැරැදි කරණ ලදි!)